2024 වර්ෂයේදී ඌව වනජීවී කලාපය තුළ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරන ලද පුද්ගලයන්ට එරෙහිව පවරන ලද නඩු කටයුතුවලින් රුපියල් 6,92,24,500ක දඩ මුදලක් අය කරගෙන ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2024 වර්ෂයේදී ඌව වනජීවී කලාපයේ නීති විරෝධි කටයුතු සම්බන්ධයෙන් නඩු 187ක් පවරා ඇති බවත්, ඉන් නඩු 135ක් අවසන් කොට දඩ මුදල් අය කොට ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ඊට ඌව වනජීවී කලාපය තුළ පැනවුන වැඩිම දඩ මුදල වන ආරක්ෂිත කෘමීන්, සමනළයින් සහ සළඹයින් මරණයට පත් කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු වෙනුවෙන් පනවන ලද රුපියල් 61,80,000ක දඩ මුදලද ඊට ඇතුළත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
විවිධ වර්ගයේ වන සතුන්ගේ මස් ළඟ තබා ගැනීම, ජාතික උද්‍යාන තුළට අනවසරයෙන් ඇතුල්වීම, කැස්බෑ බිත්තර සන්තකයේ තබා ගැනීම, අනවසර ලෙස මසුන් ඇල්ලීම, දැඩි ආරක්ෂිත සත්ත්වයන් වන සමනළයන්, සහ සළඹයින් මැරීම හා ප්‍රවාහනය කිරීම, හක්ක පටස් දැමීම, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, කොටියන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාවට බාධා වන අන්දමින් ජාතික උද්‍යාන තුළ ජීප් රථ ධාවනය කිරීම, අනවසර පතල් කැණීම, විදුලි සැර වද්දා වන අලීන් මරා දැමීම, විෂ ද්‍රව්‍ය යොදා කුඹුකන්ඔයේ මසුන් ඇල්ලීම, වන සතුන් මුලා කිරීම සඳහා කෘතිම ආලෝක භාවිතා කිරීම, ඇත් දළ කොටස් සන්තකයේ තබා ගැනීම, ශාක විනාශ කිරීම සහ ඉවත් කිරීම, ගවයින් ජාතික උද්‍යාන තුළට ඇතුළත් කිරීම, අනවසරයෙන් දැව කැපීම, අනවසර ගංඡා හේන් වගා කිරීම, අනවසරයෙන් වැලි ගොඩ දැමීම සහ තංගුස් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලීම ආදී නීති විරෝධි කටයුතුවල නිරත පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට ගෙන වනජීවි නිලධාරීන් විසින් නඩු පවරා තිබේ.
ඌව වනජීවී කලාපයට අයත් ලුණුගම්වෙහෙර, ගල්ඔය, ගල්ගේ ජාතික උද්‍යානය, කතරගම, කටගමුව, නිමලව, කිතුල්කොටේ, බදුලුවෙල, නිල්ගල, මුල්ලේගම, ඉඟිනියාගල, මොනරාගල, වැල්ලවාය, වල්ලිඅම්මාර යන අඩවි කාර්යාල, හීන් වැව, බැඹව, පානගම්මන, යාල, බෝගහවැව, වම් ඉවුර, කරවිලේ, වෙහෙරගල, හත්පොත, නාමල් ඔය, කොටබෝව සහ කොටියාගල යන බීට්ටු කාර්යාලවලට අයත් වනජීවී නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කොට තිබිණි.
ශාන් හුලන්නුගේ
Leave a Reply